“මෙරටට පැමිණෙන සංචාරකයින්ට ලබා දෙන යටිතල පහසුකම් සහ සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න”
– ජනපති
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
එබැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පැවැති සාකච්ඡාවේදීය.
මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.
සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයින් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.