Follow Us:

Sunday, Feb 23
පෙබරවාරි 13, 2025

ජනපති සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බුයි තාන් සන් මහතා අතර සාකච්ඡා

– ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය
  කර ගැනීමට අවධානය
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින සහයෝගීතාව සහ  මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කර ගැනීමට වියට්නාමය කැප වී සිටින බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අරමුණු ඉටු කර ගැනීමේදී තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට වියට්නාමය සූදානම් බවත් වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය  හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය බුයි තාන් සන් මහතා (Bui Thanh Son) ප්‍රකාශ කළේය.
එක්සත් අරාබි  එමීර් රාජ්‍යයේ පැවැති  2025 ලෝක රාජ්‍ය සමුළුව අතරතුර ඊයේ (12), ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී බුයි තාන් සන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
පසුගිය වසර 55 පුරාවට වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැඟී තිබෙන දේශපාලන විශ්වාසය සහ දිගුකාලීන  මිත්‍රත්වය සහ සහයෝගීතාව ඉදිරියටත් ධනාත්මකව වර්ධනය කර ගැනීමට මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දිගුකාලීන ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙරටටම ප්‍රමාණවත් තරම්  ඉඩකඩ ඇති බව සඳහන් කළ  ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා කෘෂිකර්ම, අධ්‍යාපන, ආගමික, සංස්කෘතික සහ සංචාරක මෙන්ම ගුවන් සේවා වැනි ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වියට්නාම ආයෝජකයන්ට ආරාධනා කරන බවද පැවසීය.
Top