පාකිස්ථාන අගමැති, බ්‍රිතාන්‍ය හිටපු අගමැති හමු වේ
දූෂණයෙන් තොර පාලනය රාජ්‍ය නායකයින්ගේ පැසසුමට
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමු විය.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් අද (11) සිදු විය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැත්න ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කළේය.
දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිම හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී නායකයන් අවධානය යොමු කළ අතර, ඒ සඳහා නව උපායමාර්ගික සැලැස්මක වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පාකිස්ථාන අගමැතිවරයා දැනුම්වත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් රජය දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් යුතු ආර්ථික කළමනාකරණයක් සිදු කරමින් සිටින බව කියා සිටියේය. ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් පදනමක් එක් කිරීමට කටයුතු කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය නංවාලීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක්ද පැවැත්වුණු අතර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙස ආරාධනා කළේය.
කාලගුණික විපර්යාසවලට මුහුණදීම, යහපාලනය, කෘෂිකර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට අදාළව විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව පෙන්වා දුන් ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඇගයීමට ලක් කළේය.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය බව සහ දූෂණයෙන් තොර පාලනය මෙහිදී ටෝනි බ්ලෙයාර් මහතාගේ විශේෂ පැසසුමට ලක් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියි.