Follow Us:

Friday, Jan 10
ජනවාරි 9, 2025

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි

නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක්

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන හරහා සිදු කළ හැකියි
– ජනපති

පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය තුළින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟිය හැකියි
– ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති උත්සවයට එක්වෙමිනි.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා nirdc.gov.lk නව වෙබ් අඩවිය දියත් කිරීමද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.

විද්‍යාව හා තාක්ෂණය සමඟ එකට බැඳුනු පර්යේෂණ හා සංවර්ධන (Research and Development) ක්‍රියාදාමය, අගය එකතු කළ (value added) භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රටේ ආර්ථිකය නඟාසිටුවන අතර සමස්ත මානව හා සාමාජීය ප්‍රවර්ධනයට ද උර දෙයි.

රට තුළ නවෝත්පාදකයන් ගම් මට්ටමින් පවා බිහි වුවද, ඔවුන්ගේ අදහස් හා නිපැයුම් නිසි ලෙස උකහා ගැනීමේ යාන්ත්‍රණයක් හෝ ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමක් සිදු වූයේ ද අවම මට්ටමකිනි. මෙම මානව සම්පතට නිවහල් ලෙස සිතන්තට අවශ්‍ය පරිසරය සාදා දීම, ඔවුන්ගේ නව අදහස් පර්යේෂණ හා ගවේෂණ තුළ කාර්යක්ෂම ලෙස සැකසූ යාන්ත්‍රණයක් හරහා ලබාදීම තුළින් ලංකාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පත් කර ගත හැක.

මෙතෙක් කලක් ශ්‍රී ලංකාව වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.12%ක් පමණ අඩු ප්‍රතිපාදනයක් පර්යේෂණ හා සංවර්ධන සඳහා වෙන් කර තිබුණි. නමුත් ශ්‍රී ලංකාව සතුව බොහෝ ස්වභාවික සම්පත් ඇතත් එය නිසි පරිදි කළමනාකරණය සඳහා සහ මෙම වටිනා පර්යේෂණ තවමත් ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදා ගෙන නොමැත.

නව රජයේ පත් වීමත් සමඟ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට විශාල උනන්දුවක් ද දක්වමින් සිටිති. ආර්ථිකය නඟාසිටුවීමට මේ සියල්ල ප්‍රමාදයකින් තොරව කළමනාකරණය කර, රටේ සංවර්ධනයට භාවිත කළ යුතුව ඇත. මනාව සැලසුම් කරන ලද සහ නිසි ලෙස කළමනාකරණය කරන ලද දිගු කාලීන පර්යේෂණ හා සංවර්ධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අලුතින් පිහිටුවන ලද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දැනටමත් ආරම්භ කර ඇත.

වඩාත්ම ඵලදායී උපාය මාර්ගය වනුයේ ආර්ථිකය සඳහා ක්ෂණික තල්ලුවක් ලබා ගැනීම සඳහා දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති, අගය එකතු කළ අලෙවි කළ හැකි නිෂ්පාදන සහ සේවාවන් බවට කඩිනමින් පරිවර්තනය කිරීමයි. පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිඵල හඳුනා ගැනීම, ඇගයීම, බලාත්මක කිරීම, ක්‍රියාවට නැංවීම සහ ඉක්මණින් වාණිජකරණය කිරීම සඳහා “පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය” [National Initiative for R&D Commercialization (NIRDC)] නව ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති කර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ විද්‍යාත්මක පර්යේෂණ, කර්මාන්ත, ආර්ථිකය, නීතිය, කලාව සහ දේශීය උරුමයන් ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයකගෙන් කමිටුවක් පත් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතින බව පෙන්වා දුන් අතර, එම අවශ්‍යතා ලබා ගන්නා මාදිලිය පමණක් වෙනස් වන බවද, නව උත්පාදනය තුළින් එම මාදිලිය නිර්මාණය කළ හැකි බවද කියා සිටියේය.

තාක්ෂණයට සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳ පොළේ ශ්‍රී ලංකාවට හිමි තැන අත්පත් කර ගැනීමට අසමත් වූ බවද ලෝකයේ තාක්ෂණය සමඟ වෙළෙඳපොළ මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් ශ්‍රී ලංකාව තේ, පොල්, රබර් වැනි පැරණි සංකල්පයක හිරවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණය සමඟ එක්ව නව උත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ පළමු සමාගම් 10න් 05ක්ම තාක්ෂණය පදනම් කරගත් සමාගම් බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂය නොසලකා තිබූ බවත් ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් ලබාදී සංවර්ධනය කරා ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

දුප්පත්භාවය තුරන් කිරීම අවශ්‍ය වන්නේ සමාජ ඛේදවාචකය නැති කිරීමට පමණක් නොව එම ජනතාව අයිතිවාසිකම් නොමැතිව පීඩා විඳීම හේතුවෙන් බවත් එම නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නව උත්පාදනය හරහා එම ජනතාවට ආර්ථික කටයුතු හා තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා –

මෙතෙක් ලංකාව තුළ පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිඵලයන් ආර්ථිකයට එකතු වුණේ නැහැ. මෙම වැඩසටහන යටතේ පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණය කිරීම සිදුකරනවා. එමගින් ආර්ථිකය සමාජීය සංවර්ධනයක් ඇතිකර තිරසර ආර්ථිකයක් ගොඩනැඟීමට හැකියාව තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, විශ්වවිද්‍යාල උප කුලපතිවරු සහ නියෝජිතයන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශ පර්යේෂණ ආයතන ප්‍රධානීන්, ආයෝජකයන්, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන්, බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Top